Sunday, May 7, 2023

එතැනින් එහාට අපි දෙන්නාගේ සම්බන්ධතාවයක් නැහැ

මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන විකාශය වන ටෙලි නිර්මාණ අතරින් ලංවි කියන්නේ ඉදිරියෙන්ම තිබෙන නිර්මාණයක්. එහි රංගනයේ යෙදෙන ඉරෝන් සහ රසාංගා මේ වන විට පුංචි තිරයේ ජනප්‍රියම පෙම් යුවළක් බවට පත්ව තිබෙන්නේ ඒ තරමටම ඔවුන් ඒ රංගනයට සාධාරණයක් කරන නිසා බව ඉතා පැහැදිලියි. මේ දෙදෙනාට අද බොහෝ දෙනෙක් ආදරය කරන නිසාම මෙවර පෙම්වතුන්ගේ දිනයත් මූලික කරගෙන සදැල්ල කවරය හැඩ කරන අතරතුර මේ දෙපළ සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. මේ පෙම්යුවළ වගීෂා සල්ගාදු සමඟ සචින් චතුරංගය

දැන් අම්මා කෙනෙක් වෙන්න නේද සූදානම් වෙන්නේ?

ඔව්නෙ. මම රංගනයෙන් දායකවෙලා ඉන්න ‘ලංවී’ ටෙලි නිර්මාණයේ රසාංගා තමයි අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. ඉතින් දැන් ඒකට සූදානම් වෙනවා.

වගීෂාගේ වයසත් එක්ක මේ චරිතය අභියෝගාත්මක වෙන්න ඇති?

අනිවාර්ය්‍ යෙන්ම. මොකද මට තවම අවුරුදු 20 යි. නමුත් මේ චරිත රංගනය අවුරරුදු 23, 24 ක වගේ තරුණියකගේ චරිතයක්.

සාමාන්‍යයෙන් අපි රංගන ශිල්පීන් විදියට රඟපාද්දි අභියෝගාත්මක චරිත ලැබෙනවා හරි අඩුයි. ඒ වගේම එවැනි චරිත නිර්මාණය වෙනවාත් අඩුයි. ඒ අතරෙ මට මගේ මේ පොඩි වයසට ලැබුණු අභියෝගාත්මක චරිත රංගනයක් තමයි ‘ලංවී’ හි රසංගා කියන්නෙ.

නමුත් මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාරවලින් ඔබ ඒ අභියෝගය ජයගත්තා කියලා හිතෙනවද?

ඔව් ඇත්තටම මේ නිර්මාණය ගැන මට එක වචනයකින් සඳහන් කරන්න බැහැ. මගේ ජීවිතේ විෙශ්ෂවුණු නිර්මාණයක්. ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඉතින් ‘ලංවී’ ටෙලි නිර්මාණ රංගනය ඉතා විශේෂයි. ඒ වගේම ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතෙනවා මේ චරිතයට ලොකු සාධාරණයක් කරනවා ඇති කියලා. ඉරෝන් සහ රසාංගා චරිත රංගනයන් තාත්ත්වික විදියට රඟ දක්වනවා කියලා තමයි බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාරය වෙන්නෙ. අපි රංගනයේ යෙදෙනවා කියලා නොතේරෙන තරමට අපි ඒ තුළ ජීවත්වෙනවා කියලා කියනවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපි දෙන්නා සැබෑ ජීවිතේ පෙම්වතුන්ද කියලාත්. ඇත්තටම ඉතින් අපි මේ රංගනය ලොකුවට හිතලා කරන්නෙත් නැහැ. ඒක රූගත කිරීම් කරන මොහොතෙ එන හැඟීම්වලට ගැළපෙන විදියට අපි රංගනයේ යෙදෙන්නේ. ඉතින් ඒ තාත්ත්විකත්වය නිසා තමයි මම හිතන්නේ අපි දෙන්නාගේ චරිත දෙකම ගොඩක් ඉස්මතු වුණේ මේ නිර්මාණය තුළ.

සැබෑවටම පෙම්වතුන් නෙමෙයිනේ නේද? 

අනේ නැහැ. අපි දෙන්නා යාළුවො විතරයි. ගොඩක් දෙනෙක් හිතනවා පෙම්වතුන් විදියට රංගනයේ යෙදුනම ඒ දෙන්නා ඇත්තටම ආදරේ කරනවා පෙම්වතුන් බවට පත්වෙනවා කියලා. එවැනි අභිමතාර්ථයෙන් ඉන්න පිරිස් ඉන්නවා. නමුත් අපි එහෙම නැහැ. මමත්, සවිනුත් ඇත්තටම කතා බහ කරන්නෙ සෙට් එකේදි විතරයි. එතැනින් එහාට අපි දෙන්නාගේ සම්බන්ධතාවයක් නැහැ. අඩුම තරමේ කෙටි පනිවිඩයකින් හෝ ඇමතුමකින්වත් සම්බන්ධයක් නැහැ. ගෙදර ආවට පස්සෙ. වෘත්තීයභාවය තියාගෙන ඒ වැඩ කටයුතු කරගෙන යනවා.

‘ලංවී’ හි රසංගා චරිතය වගීෂාට ලැබෙන්නෙ කොහොමද?

ඒකත් ඇත්තටම විශේෂ දෙයක්. ගායන ශිල්පී සනුක වික්‍රමසිංහගෙ අවසන් සටන මියුසික් වීඩියෝව කළාට පසුව තමයි ලංවී හි අධ්‍යක්ෂවරයා මාව ඒ හරහා හඳුනාගෙන මාව මේ නිර්මාණයට සම්බන්ධ කරගත්තෙ. ඇත්තටම එක් වරටම මම මේ චරිත රංගනය භාරගන්න ගියෙත් නැහැ. මුලින්ම තිර පිටපත බැලුවා. ඒ බැලුවට පසුව තමයි මට මේ චරිත රංගනය වෙනුවෙන් කැමැත්තක් ඇතිවුණේ. ඉතින් මම කැමැති වුණා මේ රංගනයට. ඒ නිසාම චරිතය භාරගත්තා. මම හිතනව ඒ චරිතය වෙනුවෙන් එදා ගත්තු තීරණය අද ගොඩක් සාර්ථක වෙලා තියෙනවා කියලා.

මේ චරිත රංගනයෙදි ඔබට අම්මා කෙනෙකුගේ චරිතයක් කරන්න තියෙනවනේ. ඒ වෙනුවෙන් සම්බන්ධ වීම පිළිබඳ අකමැත්තක් තිබුණෙ නැද්ද?

ඇත්තටම ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනැ. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වම ටෙලි නිර්මාණවලට බඩක් දානවනේ. මුලින් මම ඒ දේට නම් කැමැති වුණේ නැහැ. මොකද මගේ වයසත් එක්ක බඩක් දාගෙන ඒ අම්මා චරිතය කරන්න මම අකමැතියි. ඒ නිසා ළමයෙක් බඩේ තියාගෙන ඉන්නවා කියන හැඟීම විතරක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න ඕන කියන මතය එක්ක ඒ රංගනය කරන්න අධ්‍යක්ෂවරයා ඇතුළුව ඒ කණ්ඩායමේ පිරිස මට ඒ අවසරය ලබා දුන්නා. ඉතින් ඒ රූගත කළ කොටස් ඉදිරියේදී දැකගන්න හැකිවෙයි. ඇත්තටම මේ නිර්මාණය තුළදී මේකප් දානකොට වුණත් මම තමයි ඒවා අඩුවෙන්ම භාවිතා කරන්නෙ. මට ඇත්තටම දාන්නේ බේස් එකක් විතරයි. ස්වභාවිකත්වයට තමයි මම කොහොමත් කැමැති. ඒ කිසිදේකට මට බලපෑමක් තිබුණෙ නැහැ. ලංවී කණ්ඩායමේ හැමෝගෙන්ම මේ හැමදේමට මට ලොකු සහයෝගයක් තිබුණා. ඒ හැම දෙනාවම ආදරයෙන් සිහිපත් කරන්න ඕනැ.

මීට අමතරව සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ මොනවාද?

ලංවී නිර්මාණයට අමතරව දිවිතුරා සහ රාජිණී විකාශය වෙනවා. ඒ නිර්මාණවල චරිතත් හරිම ආදරණීය විදියට ප්‍රේක්ෂකයො වැළඳගෙන තියෙනවා. ඒවටත් ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම මේ වෙද්දි තවත් නිර්මාණ කිහිපයක්ම රූගත කිරීම් අවසන් වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි. ඒ අතරම සිනමා නිර්මාණ දෙකක් තිරගතවීමටත් නියමිතයි. රංගනය පැත්තෙන් ඒ වැඩ කටයුතු සිද්ධ වෙද්දි සංගීතය පැත්තෙනුත් වැඩ කිහිපයක් කරන්න බලාපොරොත්තුව ඉන්නවා. ඉදිරියට කලාව පැත්තෙන් ලස්සන දේවල් කිහිපයක් බලාගන්න ලැබෙයි.

ඒ කියන්නේ රංගනයට වගේම ගායනයටත් වගීෂාට හැකියාව තියෙනවා.

මගේ තාත්තා සංගීතඥයෙක්. ඒ නිසා පුංචි කාලෙ ඉඳන් සංගීතය පැත්තට මගේ නැඹුරුවක් තිබුණා. නමුත් පුංචිම කාලෙ අවුරුදු 4, 5 වගේදි මම නර්තනයට තමයි වැඩි යොමුවීම තිබුණෙ. කුලසිරි බුදවත්ත සර් ළඟත්. මුදියන්සේ දිසානායක සර් ළඟත් මම නර්තනය හැදෑරුවා. ඉන්පසුව තමයි මම සංගීතයට යොමුවන්නේ. ඒ ගායනයට සහ වාදනයට. අවසානෙට මට රංගනය පිළිබඳව දක්ෂතා තියෙනවා කියලා දැනගත්තා මම 8 වසරේදී වගේ. ​ෙවද්දි මම පාසල් වේදිකාවත් එක්ක සම්බන්ධ වෙලා රාජ්‍ය නාට්‍ය ළමා නාට්‍ය උළෙලට වේදිකා නාට්‍ය කළා. ඒ තුළින් මට පාසල් මට්ටමින් ජයග්‍රහන ලබාගන්නත් හැකිවුණා. ඒ විදියට තමයි රංගන කුසලතා හඳුනාගත්තෙ. ඉතින් ඒ කාලෙදි ඒ හඳුනාගත් දක්ෂතා අද වැඩිදියුණු වෙලා අද වෙද්දි මේ තැනට ගෙනල්ලා තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

මේ සියලුම කුසලතා වැඩිදියුණු කරගෙන කලාවෙමද රැඳෙන්න කැමැති?

ඔව්. මම කොහොමත් කලාව අතඅරින්නෙ නැහැ. කලාවට හරිම ආදරෙයි. කලාව මගේ ජීවිතේම කොටසක්. මේ දේ භාරගත්තට පසුව තමයි කලාවේ වටිනාකම දැනෙන්නෙ. ඉතින් මේ තුළින් ඉදිරියට යන්න ගොඩක් කැමැතියි. අද වෙද්දි මම හිතුවටත් වඩා මේ තුළ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වසර මට මේ තුළ ගොඩක් දේවල් කරන්න තියෙන වසරක් කියලා. විශේෂයෙන් රංගනය පැත්තෙන් වගේම ගායනය පැත්තෙන්.

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන් 

under the courtesy of saaravita.lk news web




------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka